ආදාහනයද ?භූමිදානයද ?අලි සබ්‍රි අලි අමාරුවක වැටුණු අම්මාගේ ප්‍රශ්නය.

0

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා කොවිඩ් නිසා මියයන මුස්ලිම් ජාතිකයින් භූමිදානය කිරීම සම්බන්ධව අවධානය යොමු කිරීමට හේතුව පැහැදිලි කළේය.

මුස්ලිම් ජනතාව සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කර ඇති බව කියා සිටි ඔහු තමන් මේ සම්බන්ධව සිදු කරන්නේ බලපෑමක් නොවන බව පැහැදිලි කළේය. එසේම මුස්ලිම් ජනතාවගේ ආගමික සංස්කෘතික විශ්වාසය පිළිබඳව ද පැහැදිලි කළ හෙතෙම සුවිශේෂී කතාවක් කීවේය.

මගේ අම්මා තාම ජීවතුන් අතර ඉන්නේ. එතුමිය මට කතා කරලා ඇහුවා පුතේ උඹ අධිකරණ ඇමැති, මමත් මැරුණොත් පුච්චනවාද කියලා. මට දෙන්න උත්තරයක් නැති වුණා. මේක සංවේදී කාරණාවක්. මම බල කරන්නේ නෑ. සලකා බලන්න කියලා ඉල්ලන්නේ. ආදී වශයෙන් ඔහු අදහස් දක්වා තිබුණි.

මේ අනුව වියළි කලාපයේ මන්නාරම, වව්නියාව ආදී ප්‍රදේශවල සිරුරු භූමදානය කිරීමේ හැකියාව පිළිබඳ කතාබහක් ඇතිවිය. කෙසේ නමුත් මේ හා සම්බන්ධව අමාත්‍ය මණ්ඩල තීරණයක් ගැනීම සිදු නොවුණි.

බදාදා වන විට සිංහල ජාතික සංවිධානය සහ භික්ෂූන් වහන්සේලා රුසක් මුස්ලිම් ජනතාවගේ සිරුරු භූමදානයට ඉඩකඩ ලබාදීමට යන බවට ආණ්ඩුව වෙත චෝදනා එල්ල කළහ. රටේ එක නීතියක් තිබිය යුතු බව උන්වහන්සේලා කියා සිටි අතර කොවිඩ් සිරුරු භූමදානය හරහා අනාගතයේ ගැටලු මතුවිය හැකි බවට වූ සෞඛ්‍ය සහ භූ විද්‍යාත්මක මත ගෙනහැර පෑහ. මෙම මත දැක්වීම උණුසුම් වීමට සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය නිකුත් කළ ලිපියක් හේතු විය.එයින් භූමදානයට අවසර දීම සම්බන්ධව ජනාධිපතිට ස්තූති කර තිබුණි.

කෙසේ වෙතත් ආණ්ඩුව කියා සිටියේ මේ දක්වා අවසර ලබාදීමක් සිදු වී නොමැති බවය. මේ අතර අමාත්‍ය අලි සබ්‍රි ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍යයේ දැඩි ප්‍රහාරයක් දියත් විය. අවසානයේ ඔහු සිය මුහුණුපොතට මෙවන් සටහනක් එක්කර තිබුණි.

“සුළුතරය වූ පමණින්ම මතයක් සාවද්‍ය නොවේ. බහුතරය වූ පමණින්ම මතයක් නිවැරුදි ද නොවේ! මතයක් ප්‍රකාශ කළ පමණින් කිසිවකු අන්තවාදී ද නොවේ. ගිරිය පුප්පාගෙන කෑගැසූ පමණින් කිසිවකු දේශප්‍රේමී ද නොවේ.” යනුවෙනි.

(DESHAYA)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here