මානව හිමිකම් ගැන යළිත් කතාවක්..එක්සත් ජාතීන්ගේ නි.ලේකම්වරිය ලංකාවට

0

මෙවර මවුරට රාජ්‍ය රහස් තීරයෙන් හෙළිදරව් කිරීමට සූදානම් වන්නේ සිදුවීමට යන එවැනි එක් බලපෑමකි. මෙය කලින් සැලැසුම් කළ එකක්ද, එසේත් නැත්නම් අහම්බෙන් සිදුවූවක්ද යන්න ගැන තොරතුරු නැතත් මානව හිමිකම් සම්බන්ධයෙන් ඉදිරියේදී යළිත් වරක් ලංකාව ජාත්‍යන්තරය තුළ මාතෘකාවක් බවට පත්වන සිදුවීම් පෙළක් මේ වන විට දේශපාලන කරළියේ දිග හැරෙමින් තිබේ.

ඒ, ඉදිරි දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රබල නියෝජ්‍ය ලේකම්වරියකගේ ශ්‍රී ලංකා සංචාරය හරහාය.එක්සත් ජාතීන්ගේ සංවිධානය ගත් විට එහි මහලේකම් ධුරයට පසුව ප්‍රබලම තනතුරු දෙක වන්නේ නියෝජ්‍ය ලේකම්වරුන් දෙදෙනාගේ ධුරයන්ය. එයිනුත් දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් ධුරය ඉතා බලවත්ම තනතුරය. මේ වන විට එම ලේකම් ධුරය උසුලන්නේ රෝස්මරී ඒ. ඩිකාලෝ නම් කාන්තාවය.

එක්සත් ජාතීන්ගේ වත්මන් මහලේකම් අන්තෝනියෝ ගුටරේස් විසින් රෝස්මරීව එම තනතුරට පත්කරනු ලැබුවේ 2018 මැයි 01 වැනි දිනය. ඇයගේ වගකීම වන්නේ ඇයට භාරදී ඇති අප්‍රිකාව, යුරෝපය, මධ්‍යම සහ දකුණු ආසියාව, මැදපෙරදිග සහ ඇමෙරිකානු කලාපවල දේශපාලන කටයුතු සහ සාමය ආරක්ෂාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට උපදෙස් ලබාදීමය. ඒ අනුව මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලංකාවට දැනුම්දීමක් සිදුකර ඇත්තේ ඉදිරි දින කිහිපය ඇතුළත මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම්වරිය වන රෝස්මරී මහත්මිය ලංකාවට පැමිණීමට නියමිත බවකි.

වෙනම ටීම් එකක් ලංකාවට ඇවිත් එම සංචාරයේ පසුබිම සකස් කිරීම සඳහා පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයන් පිරිසක් ලංකාවට පැමිණියහ. එසේ පැමිණි පිරිස රෝස්මරීගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර මුණගැසෙන ආණ්ඩුවේ පාර්ශ්වයන් මෙන්ම විපක්ෂයේ පාර්ශ්වයන්ද, සිවිල් සංවිධානවල සහ රාජ්‍ය නොවන සංවිධානවල කණ්ඩායම් සමඟද සාකච්ඡා කරමින් මේ දිනවල ඇගේ ලංකා ගමනේ කාලසටහන සකස් කරමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ.

ෆෙල්ට්මන් කලින් ඇවිත් කරපු දේ මේ ආකාරයටම 2018 වසරේදීද රෝස්මරීට කලින් සිටි නියෝජිත ජෙෆ්රි ෆෙල්ට්මන්ද ශ්‍රී ලංකාවේ විශේෂ සංචාරයක නිරත විය. එහිදී ජෙෆ්රි එවකට පැවැති යහපාලන ආණ්ඩුවේ ප්‍රධානීන් වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනත්, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහත් මුණගැසී සාකච්ඡා පවත්වා එහි අවධානයට ලක්වූ කරුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත ලබාදීමට පියවර ගත්තේය.

රටේ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් ආණ්ඩුව ලබාදුන් පොරොන්දු සහ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ගද එහිදී ජෙෆ්රි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත වාර්තා කිරීමට පියවර ගෙන තිබිණ.

කෙසේ වෙතත් රෝස්මරීගේ මෙවර ලංකා සංචාරයේ පසුබිම සකස් කිරීම සඳහා මේ දිනවල ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් හා ආණ්ඩුවේ පිරිස් අතර පැවැත්වී ඇති සාකච්ඡාවල යම් යම් තොරතුරුද මේ වන විට කනින් කොණින් අප වෙත ලැබී තිබේ.

එහිදී දැනගන්නට ඇත්තේ මෙවර රෝස්මරී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ මානව හිමිකම් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව දරන ස්ථාවරය දැන ගැනීමටත්, ලබන මාර්තු මස පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් රැස්වීමේදී දැනට යටගොස් ඇති ලංකාවේ මානව හිමිකම් වාර්තාව උඩට ගැනීමටත්ය.

ඉන් අනතුරුව ඇය ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට අනුබද්ධ අනෙකුත් ආයතන සමඟද ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බව පැවසේ. ඊට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම රෝස්මරීගේ මෙවර ලංකා ගමනේ අරමුණ බව ආරංචිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here