මෙරට සහ පිටරටවල හංගපු සල්ලි එලියට ගන්න..බදු සමාව දෙන බවට දිවුරා පොරොන්දු වෙනවා – අගමැති..

0

දේශීය ව්‍යාපාරිකයන්, නිෂ්පාදකයන් සහ ආයෝජකයන් දිරි ගැන්වීම සඳහා බදු සහන සහ බදු විරාම යෝජනා කරමින් අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ (17 වැනිදා) සිය අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එසේ ඉදිරිපත් කෙරුණේ 2021 වසර සඳහා වන අයවැය වාර්තාවයි.

කඩා වැටුණ ආර්ථීකයක් ඔසවා තැබීමට ඉදිරිපත් කරන සංවර්ධන අයවැයක් ලෙස මෙම අයවැය හැඳින්වූ අගමැතිවරයා එය “සෞභාග්‍යයේ දැක්ම” යථාර්ථයක් කරමින් සාර්ව ආර්ථික දැක්මක් තුළ සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සකස් කළ අයවැයක් බවද කීය.

දේශීය ආර්ථිකය තරගකාරී ලෙස ගෝලීය ආර්ථිකයට පිවිසීම සඳහා ඉදිරි වසර 3 ඇතුළත රටේ සෑම තරාතිරමක නිෂ්පාදකයන් මේ සඳහා කැපවිය යුතු බවත් කී අගමැතිවරයා බදු හෝ විනිමය පාලන නීතිවලින් මිදීම සඳහා දේශීයව හෝ විදේශීයව සඟවා තබාගෙන ඇති මුදල් රටේ අභිවෘද්ධියට යොදන ලෙස ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම අයවැයෙන් සලසා ඇති ඕනෑම ආයෝජනයක් සඳහා එසේ මුදල් යොදවන ව්‍යාපාරිකයන්ට පිළිගත් දිවුරුම් ප්‍රකාශයක් සහිතව සියයට 1ක බදු ගෙවීමකට යටත්ව බදු සමාවක් ලබාදීමට නීති ප්‍රතිපාදන යෙදීමටද බලාපොරොත්තු වන බව අගමැතිවරයා පැවැසුවේය.

අගමැතිවරයා ඉදිරිපත් කළ එම අයවැයෙන් විවිධ ක්ෂේත්‍රවලට ලැබෙන සහන කීපයක් මෙසේය.

– වතු කම්කරු දෛනික වැටුප 2021 ජනවාරි සිට රුපියල් 1000 දක්වා ඉහළට

– රාජ්‍ය ආයතනවල වාහන අලුත්වැඩියා කිරීමට ආයෝජනය කරන්නන්ට බදු සහන

– රාජ්‍ය සේවකයන්ට සේවා අවශ්‍යතා මත වෙනත් රාජ්‍ය ආයතනවලට අනුයුක්ත වීමට හැකිවන ලෙස මුදල් පනත සංශෝධනය කෙරේ.

– රාජ්‍ය සේවක විදුලි බිල්පත අඩු කිරීම සඳහා සූර්ය විදුලි බල පහසුකම ලබා ගැනීමට ණය පහසුකම්.

– මාණ්ඩලික නොවන රාජ්‍ය සේවකයන්ට රාජකාරී වේලාවෙන් පසුව වෙනත් රැකියාවක නිරත වීමට හා විදේශ රැකියා සඳහා වසර දෙකක නිවාඩු අනුමත කෙරේ.

– රජයේ සේවක නිවාස ණය පොලී අනුපාතය 7% දක්වා අඩු කෙරේ.

– කාන්තා සහ පිරිමි විශ්‍රාමික වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here