ඉස්සර වගේ උදව්කරන්න දැන් සල්ලි නෑ..ඩීසල් ගහන්නවත් හාර පන්දාහක් නැතුව බස් එකේ කොළඹ ගියෙ – තෙවරප්පෙරුම.

0

තෙවරප්පෙරුම හිටපු ඇමැතිතුමා මේ දවස්වල මොකද කරන්නේ?

මගේ ඉඩමක් තියෙනවා. ඒවා කැලේට ගිහිල්ලා පහු ගිය කාලේ ඒ ගැන මුකුත් කරන්න බැරි වුණානේ. දැන් මුල ඉඳලා හදනවා ඒක.

ඒ කියන්නේ දැන් සමාජ සේවේ නෑ?

අපි එදා ඉඳන්ම වැඩ කරන්න ඉපදිච්චි මිනිස්සු. පොදු වැඩට, සමාජ සේවයට, මිනිස්සුන්ට උදව් උපකාර කරන්න මේවා මම කළේ දේශපාලනේට එන්නත් කලින්. ඒ වගේම දේශපාලනේ කියන්නේ බාලගිරිදෝෂේ වගේ කවදාවත් ඉවරයක් නැති එකක්. නමුත් කොච්චර කළත් තෘප්තියකුත් නෑ. දැන් අපි පෝස්ටර් ගහලා ලොකුවට කෑගහලා ඡන්දේ දිනනවානේ. එතකෙට මිනිස්සු අපි ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන ඉන්නවානේ අරක කරයි, මේක කරයි, රස්සාවක් ලැබෙයි කියලා. නමුත් අපිට ඒ එක වැඩක්වත් කරගන්න බෑ, එහෙම වැඩක් කරන්න පුළුවන් ක්‍රමවේදයකුත් මේ රටේ නෑ.

ඔබ කියන්නේ ඡන්දේ දිනලා පාර්ලිමේන්තුවට ගියාම මිනිස්සුන්ට වැඩ කරන්න බෑ?

වැඩ කරන්න බෑ. ඒ කියන්නේ මට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විදිහට කරන්න පුළුවන් වෙච්ච වැඩ කොටසවත් ඇමැතිවරයෙක් වෙලා ඉඳගෙන කරන්න බැරි වුණා. මොකද අමාත්‍යංශවල විෂයන් වෙන් කරන්නේ රටේ අවශ්‍යතා අනුව නෙවෙයි. පක්ෂේ ඉන්න ලොක්කන්ගේ අවශ්‍යතා අනුව. දැන් උදාහරණයක් විදිහට මම සංස්කෘතික රාජ්‍ය ඇමැතිවරයා වෙලා ඉන්නකොට සංස්කෘතිය තිබුණා අපිට නමුත් සංස්කෘතික අරමුදල නෑ. සංස්කෘතිය තිබුණා පුරා විද්‍යාව නෑ. යකෝ සංස්කෘතියයි පුරාවිද්‍යාවයි එකට ගැලපිලානේ තියෙන්න ඕන. මේකේ වැඩක් කරන්නම බෑ. ඇත්ත කියන්න එපැයි. දැන් මම සංස්කෘතියේ වැඩ කරන්න ගියා වැඩ කරන්න දුන්නේ නෑ. වනජීවී එකේ වැඩකරන්න ගියා වැඩ කරන්න දුන්නෙ නෑ. සමාජ සවිබල ගැන්වීම් එකේදීත් මට කිසිම වගකීමක් පැවරුවේ නෑ. මේ දේවල් නිසා මේ රස්සාවේ කිසිම තෘප්තියක් නෑ.

දැන් එතකොට ඔබ කියන්නේ පැරදිච්ච එක හොඳයි කියලාද?

මෙහෙමයි අපි හිතන්නේ දිනන එක වාසනාවක් කියලානේ. ඒ වගේම මට දැන් හිතෙනවා අපිට මිනිස්සුන්ට වැඩක් කරන්න බැරිනං, මේ කරන වැඩෙන් තෘප්තිමත් වෙන්නත් බැරිනං, වැඩ කරන්න බලයකුත් නැත්තං, ප්‍රතිපාදනත් දෙන්නේ නැත්තං පැරදිච්ච එක ඇත්තටම හොඳයි.

ඡන්ද දායකයෝ මොකද කියන්නේ?

මේ දවස්වල මිනිස්සු මාව බලන්න එන්නෙත් නෑ. කතා කරන්න එන්නෙත් නෑ. කිසි දෙයක් ඉල්ලන්න එන්නෙත් නෑ. හදිස්සියකටවත් මිනිහෙක් හොයා ගන්න නෑ.

දැන් අපි දැක්කා පළවැනි කොරෝනා රැල්ල ආව වෙලාවේ ඔබ කොස් කඩාගෙන බත් උයාගෙන, පාන් පුච්චන ගෙන පොලිසියත් එක්කත් ගහගෙන, නාමල් පුතාටත් කතා කරගෙන, පාර ඇරගෙන ගිහින් මිනිස්සුන්ට කන්න දුන්නා. ඒ මිනිස්සු ඔබට කළ ගුණ සැලකුවේ නෑ නේද?

මෙහෙමයි. ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරනේ ඉල්ලපු වෙලාවේ මම හිටියේ රිමාන්ඩ් එකේ. නමුත් අපේ පක්ෂේ පෝලිම් ඒජන්ට්ලා විදිහට හිටපු අය මට කිව්වා ‘‘මන්ත්‍රීතුමා රෑ 12 ට විතර ලයිට් නිවලා කට්ටියක් අපිට එලවා එලවා ගැහුවා’’ කියලා. එහෙම තමයි ඒ ඡන්දේ ඒගොල්ලෝ දිනාගත්තේ. මේ ඡන්දෙත් අර පැන්සල වෙනුවට පෑන දාලා, පැය 24ක් ඡන්ද පෙට්ටිය තියාගෙන, මුලු රටේම ලයිට් නිවලා මොන ජල්තරයක් දැම්මද කවුද දන්නේ.

ඒ කියන්නේ ඔබ විශ්වාස කරනවා මිනිස්සු ඔබට ඡන්දේ දුන්නා කියලා?

අනිවාර්යයෙන්ම.

ඇයි එහෙනම් මේ දෙවැනි කොරෝනා රැල්ලෙදී ඒ මිනිස්සුන්ට උදවු කරන්න ගියේ නැත්තේ?

ඔබතුමා ඔය කියන වැඩේ හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. එකක් ජීවිත අවදානම. මේක ඇවිල්ලා උන හෙම්බිරිසාව වගේ එකක් නෙවෙයිනේ. ඊට පස්සේ නීතිය. දැන් ගියපාර මට පොඩි බලයක් තිබුණා. මම පාර්ලිමේන්තු මන්ත්‍රී කමේ ඉන්නකොට තමයි ඒ දේවල් කළේ. ඒ කරලාත් මට නඩු 5ක් 6ක් දැම්මා. එතකොට මම මගේ ජීප් එක උකස් තියලා දරුවාගේ ව්‍යාපාර කරන්න තිබුණු සල්ලිත් අරගෙන තමයි ඒ වැඩේ පටන් ගත්තේ. එතකොට මට ලෝකෙම ඉන්න රට විරුවෝ ටික ලක්ෂ 50ක්, 60ක් එව්වා. මෙහේ ඉන්න පරිත්‍යාගශීලීනුත් මට හාල් කිලෝ සීය, පන්සීය දාහ වගේ දුන්නා. අපේ මැනිං මාර්කට් එකේ කොල්ලෝ ටික හැමදාම මම ගියාම ලොරි ගනං එළවළු ටික පුරවලා දුන්නා. එතකොට මේ පාර මට වැඩේ පටන් ගන්නවත් එහෙම මුදලක් තිබුණෙ නෑ. ඡන්දේ ආව, කොරෝනා ආවා, මගේ පුතාගේ දානේ ආව මම දැනටත් ලක්ෂ 30ක් 40ක් ණයයි. අඩුම ගාණේ ලක්ෂයක්වත් මගේ අතේ තිබුණා නම් මම මේ පාරත් වැඩේ පටන් ගන්නවා.

ඇත්තටම දැන් ලක්ෂයක්වත් නැද්ද අතේ?

ලක්ෂයක් නෙවෙයි අයියේ මට ඩීසල් ටිකක් ගහ ගන්න හාර, පන්දාහක් නැතුව මම බස් එකේ කොළඹ ගියේ. මේ දවස්වල මම වත්තට වෙලා කුලීකාරයා වගේ වත්තේ කානු කපනවා සුද්ද කරනවා. තණකොළ උගුල්ලනවා මේ කොන්දේ අමාරුවත් තියාගෙන.

අසනීපෙන්ද ඉන්නේ?

මගේ මේ තියෙනවානේ කොන්දයි, බෙල්ලෙයි අමාරුවක්. වෙද මහත්තයාගෙන් බෙහෙත් ටිකක් අරන් පෙරේදා ඉඳන් බඳින්න ගත්තා.

පරණ යාළුවෝ ආවා නේද ඔබව බලන්න?

ඔවු නවීන් දිසානායක, අර්ජුන රණතුංග, රවි කරුණානායක, මර්වින් සිල්වා කියන මහත්තුරු ආවා.

ඒ ගොල්ලෝ කිව්වා ‘‘පාලිත තෙවරප්පෙරුම තනිවෙලා’’ කියලා මොකද්ද ඒ කතාව?

මම කිව්වනේ මම පොඩි කාලේ ඉඳලාම සමාජ සේවය කළා කියාල. ඉතිං පවුල් වුණාට පස්සෙත් පවුල්ටවත්, දරුවන්ටවත්, ගෙදරටවත් මුකුත් කරලා දෙන්න බැරි වුණා. අපි දේශපාලනේ කළා මිසක් හම්බ කළේ නෑනේ. ඉතිං අපි පුළුවන් කාලෙත් පවුලට මුකුත් කළේ නෑ, හෙව්වේ බැලවේ නෑ කියලා පවුල්වල අයටත් හැඟීමක් තියෙනවානේ. ඉතිං දැන් බරි වුණාම බෑම වගේ, මොකාද එකා වගේ මම ඉතිං මගේ වැඩක් කරගෙන ශේප් එකේ මේ වත්තට වෙලා ඉන්නවා.

යාළුවෝ ටික තනිකම බෙදා ගන්න ඇවිත් මොනවද දීලා ගියේ?

ඒ අය මම ඉන්න පරිසරේ දැකලා බොහෝම සතුටු වුණා. මට මුකුත් දීලා ගියේ නෑ.

අනාගත දේශපාලන වැඩපිළිවෙළ මොකද්ද?

ඒක මම කාලයාට බාර දුන්නා, කාලයා මේක විසදන්න ඕන කියලා. නමුත් දැන් මේ යන විදිහටනං දේශපාලනේට ආයිත් කරගහන්න වෙන තත්ත්වයක් තියෙන්නේ. මොකද රටේ තත්ත්වේ ඒ තරම් හොඳ නෑනේ. මේ මිනිස්සු ගැන බලන්න කවුරුවත් නෑ,

ආයි ප්‍රාදේශීය සභාවට එහෙම ඉල්ලන්නේ නෑනේ?

කියන්න බෑ. මම කැමැති ප්‍රාදේශීය සභාවට අයියේ. බොහෝ විට ඉල්ලන් ඉඩ තියෙනවා.

•සමන් සමරක්කොඩි ( ARUNA )

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here