කොවිඩ් හැදුනු සභාපති දේශපාලන රැස්වීමක..මැති ඇමති පොකුරකට බයෙන් ඇමතිවරු නිරෝධායනයේ

0

ස්වයං නිරෝධානයට ලක්කර සිටියදී රැස්වීම් රැසකට සහභාගි වූ ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇත.

ඔහු පැමිණි රැස්වීමකට සහභාගි වූ වනජීවී හා වන සංරක්ෂණ ඇමැති සී,බී. රත්නායක ඇතුළු දේශපාලනඥයන් කිහිපදෙනකුද ස්වයං නිරෝධානයට ලක්කර තිබේ.

ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කදීර් සෙල්වම් ආගරපතන, ඇල්බියන්වත්ත, කොන්ෆීල් කොටසේ පදිංචිව සිටින්නේය. එම වතු ප්‍රදේශයේ අවමංගල්‍යයකට පැමිණි කාන්තාවක් කොවිඩ් ආසාදිතව සිට ඇත. එම අවමඟුලට සභාපතිවරයාද සහභාගි වී තිබේ. ඒ අනුව සභාපතිවරයා ඇතුළු 300කට අධික පිරිසක් සෞඛ්‍ය අංශ මගින් ස්වයං නිරෝධායනයට ලක්කෙරිණි. පසුව සභාපතිවරයාට කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් ආසාදනයවී ඇති බව අනාවරණය වූ බවත්, තලවාකැලේ ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් අබේගුණවර්ධන සඳහන් කරයි.

ස්වයං නිරෝධානයට ලක්කර සිටියදී සභාපතිවරයා තලවාකැලේ සහ තවත් ප්‍රදේශ රැසක පැවැති රැස්වීම්, විවෘත කිරීම් ඇතුළු වැඩසටහන් රැසකට සහභාගි වී ඇත. තලවාකැලේ, ලිඳුල නගර සභාවේ පැවැති එවැනි රැස්වීමකටද සභාපතිවරයා සහභාගි වී තිබේ. එම අවස්ථාවට තමා සමග වැවිලි ඇමැති රමේෂ් පතිරණ, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති ජීවන් තොන්ඩමන්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස යන අයද සහභාගි වූ බව වනජීවී හා වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක පවසයි.

අදාළ රැස්වීමේ දේශපාලන ප්‍රභූන්ට අමතරව ප්‍රාදේශීය දේශපාලනඥයන් සහ ප්‍රදේශවාසීන් 300කට අධික පිරිසක් සිට ඇත. එමෙන්ම මෙහිදී සභාපතිවරයා ඇමැති සී.බී. රත්නායක, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු පිරිස සමග සුහද කතාබහකද නිරත වී තිබේ.

ආගරපතන සභාපතිවරයා ඉකුත් 16 වැනිදා සහ 19 වැනිදා සහභාගි වූ රැස්වීම්වලට නුවරඑළිය, තලවාකැලේ -ලිඳුල, කොටගල, ආගරපතන, නෝර්වුඩ්, මස්කෙළිය, අඹගමුව යන පළාත් ආයතනවල නගරාධිපතිවරුන්, සභාපතිවරුන් මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී තිබේ.

එම රැස්වීම්වලට සහභාගි වූ සභාපතිවරයා සිටි තැනට වඩාත් දුරින් තමා සිටි බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස කීවේය.

සභාපතිවරයා සමග ඔහුගේ පවුලේ සාමාජිකයන් හත්දෙනකු, හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා, තලවාකැලේ ලිඳුල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ මස්කෙළිය සහ නෝර්වුඩ් ප්‍රදේශීය සභාපතිවරු දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.

සභාපතිවරයාට තවත් පී.සී.ආර්. පරීක්ෂණයක්ද සිදුකිරීමට නියමිතය. කොවිඩ් ආසාදිත සභාපතිවරයාට එරෙහිව නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට සෞඛ්‍ය අංශ ඊයේ (21 වැනිදා) පියවර ගෙන තිබුණි. මේ හේතුවෙන් ආගරපතන ප්‍රාදේශීය සභාව තාවකාලිකව වසා දැමීමටද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here