කොවිඩ් සිරුරු භූමිදානයට සුදුසු ප්‍රදේශ 2 ක් ගැන ඇමති වාසුගෙන් අගමැතිට වාර්ථාවක්

0

කොවිඩ් මෘතදේහ භූමදානය කිරීමේ හැකියාව පිළිබඳ සොයාබලන විමර්ශනයට අදාළව තමා වෙත ලැබුණු උපදෙස් මත මන්නාරමේ සහ නැගෙනහිර පළාතේ භූගත ජලය ගැඹුරින් පිහිටි ප්‍රදේශ දෙකක් පිළිබඳ වාර්තාවක් තමා අගමැතිවරයාට භාරදුන් බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද (27) අනාවරණ කළේය.

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා එහිදී සඳහන් කළේ මන්නාරමේ සහ නැගෙනහිර පළාතේ භූගත ජලය ගැඹුරින් පිහිටි ප්‍රදේශ දෙකක් පිළිබඳව තමන් එම වාර්තාව ලබාදුන් බවය.

එහෙත් සෞඛ්‍ය අංශ පවසන්නේ කොවිඩ් ආසාදිත මෘතදේහ තුළ වෛරසය සක්‍රියව පවතින බැවින් එම විෂබීජ සම්පූර්ණයෙන්ම විනාශකිරීමට මෘතදේහ ආදාහනය වඩාත් සුදුසු බවය.

රුහුණ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී. පෙරේරා මහතා මේ බව පැවසීය.

සබරගමුව විශ්ව විද්‍යාලයේ පාංශු විද්‍යාව හා පාරිසරික විද්‍යාව පිළිබඳ විශේෂඥ, මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා පැවසූවේ “ප්‍රශ්නය තියෙන්නේ මේවා පසට එකතු වුණාම කොතරම් කාලයක් තියෙනවාද කියන එකයි. ඒ ප්‍රශ්නයට උත්තරයක් තවම ලෝකය හොයාගෙන නෑ. අපිට සියයට සියයක් විශ්වාසයි මේ මළසිරුරු ආදාහනය කළොත් වෛරසය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා කියලා.” යනුවෙනි.

මේ අතර අදත් කොවිඩ් මෘතදේහ භූමදානයට අනුමැතිය ඉල්ලමින් ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ පැවැත්වුණි.

කොවිඩ් ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීමට අවසර දෙන ලෙස ඉල්ලමින් අද ගාල්ල දෙවට ප්‍රදේශයේදී උද්ඝෝෂණයක් පැවැත්විය.

එසේම ත්‍රිකුණාමලය කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටද අද විරෝධතාවක් පැවැත්වුණේ කොවිඩ් ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයන් ආදාහනය නොකරන ලෙස ඉල්ලමිනි.

අනතුරව පිරිස ප්‍රාදේශීය ලේකම්වරයාට පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here