ඉවසීම – විනය නොමැතිකම දේශපාලනයේ භයානක රෝගයක්

0

ඉවසීම සහ විනය නොමැතිකම මෙරට දේශපාලනයේ දැකිය හැකි භයානක රෝගයක් බව විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම පසුගියදා ප්‍රකාශ කළේය. ඇමැතිවරයා මෙම අදහස් පළකළේ, මාලිම්බඩ, හොරගොඩ, භාග්‍යගම දිවා රාත්‍රී ක්‍රීඩාංගණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.,

අපේ පාර්ලිමේන්තුවේ විවේචන ඉවසන්න බැරි කී දෙනෙක් ඉන්නවද. විවේචනයක් කරද්දී බූරුවා, බල්ලා, කබරයා, වඳුරා කියලා සෑම සතෙකුගේම නම් කියලා බණිනවා. කියන්නේ නැත්තේ සිංහයාගේ නම විතරයි. ඒ කියන අයගේ ළමා කාලය බැලුවම අපිට පැහැදිලියි, ඔවුන් කිසිම දවසක ක්‍රීඩාවකට සහභාගි වෙලා, ක්‍රීඩා කණ්ඩායමක සාමුහිකත්වයෙන් වැඩ කරලා නැහැ කියන එක. ඒ නිසා ඔවුන් ඉවසීම දන්නේ නැහැ, තරගකාරීත්වය, විනය තේරෙන්නේ නැහැ. ජය පරාජය බෙදා ගන්න දන්නේ නැහැ. මේක අපේ රටේ දේශපාලනයේ දකින්න තිබෙන භයානක රෝගයක්.

ක්‍රීඩාව ඇතුළේ තමයි සාමූහිකත්වය, ඉවසීම, විනය හැදෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා වසර කිහිපයක් යන විට ක්‍රීඩාව තුළින් ඉවසන්න හැකියාවක් තිබෙන, තරගකාරීත්වය, විනය, සාමූහික හැඟීම ඇති පරපුරක් බිහි කරන්න හැකි වේවි කියලා” යැයි විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේය.

ජයග්‍රාහකයා හෝ පරාජිතයා ලෙස නම් කිරීම ක්‍රීඩාව පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. ගණිතය පිළිබඳ ප්‍රශ්නයක්. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පයේදී ක්‍රීඩා ආර්ථිකයක්, නීරෝගීමත් ජාතියක් පිළිබඳව සඳහන් කළා. ශ්‍රී ලංකීය ජාතියේ ශ්‍රේෂ්ඨත්වය නැවත මතු කරන්න ඕන කිව්වා. රටක, ජාතියක ශ්‍රේෂ්ඨත්වය මතු කිරීමේ පළමු කොන්දේසිය තමයි, ඒ ජාතිය නිරෝගීමත්, සාමකාමී මෙන්ම විනයක් සහිත ජාතියක් වීම. ලෝකයේ දියුණු කියන සෑම රටකම, දියුණුව ආර්ථික වශයෙන් පමණක් නොවෙයි, ක්‍රීඩාවෙනුත් දියුණු බවට පත්වෙලා තිබෙනවා. රටේ හැම පාරක්ම කාපට් කළත්, අධිවේගී මාර්ග රට වටේටම හැදුවත් රටේ පුරවැසියෝ සමගි නැත්නම්, නිරෝගී නැත්නම්, ඔවුන්ට විනයක් නැත්නම් මේ කියන දියුණු තත්ත්වයට අපට ළඟාවෙන්න බැහැ. ඒ නිසයි මේ ආකාරයෙන් ක්‍රීඩාංගණ ඉදිකරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here