පාර්ලිමේන්තුවත් අටලුගම වගේ..මැති ඇමැතිලා 134කට පී.සී.ආර්. එපාවෙලා

0

පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් හත් දෙනකුට කොරෝනා ආසාදිත වී තිබියදීත් මැති ඇමැතිවරුන් 134 දෙනකු පමණ කොරෝනා හඳුනා ගැනීමට කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණවලට මෙතෙක් සහභාගි වී නැතැයි වාර්තා වෙයි.

වාර ගණනක් පාර්ලිමේන්තුව තුළ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා අවශ්‍ය සාම්පල ලබාගැනීම සිදු කෙරිණි. කතානායකවරයා ප්‍රමුඛ මැති ඇමැතින් 90 දෙනෙක් මේ සතිය වන විට එම පරීක්ෂණවලට භාජනය වූහ. කතානායකවරයා තෙවරක්ම පී.සී.ආර්. පරීක්ෂණය කර ඇත. සෙසු අයටත් හැකි ඉක්මනින් පැමිණ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුවන ලෙස කතානායකවරයා දන්වා තිබිණි.

එහෙත් දැනට සිටින මුළු මන්ත්‍රීන් 224 දෙනාගෙන් පරීක්ෂණය සඳහා පැමිණියේ 90 දෙනකු පමණක් බව වාර්තා විය. එය මුළු මන්ත්‍රීන් ගණනින් 40%ක් පමණය. ඇතැම් මන්ත්‍රීවරුන් සහ ඇමැතිවරුන් ප්‍රකාශ කර තිබුණේ තමන් පෞද්ගලික රෝහල්වලින් පී.සී.ආර්. පරීක්ෂණ කරගත් බවය. කෙසේ වෙතත් මේ සතිය වනවිට මැතිසබා සේවකයන් හා මන්ත්‍රීන් ඇතුළු 1400කට පමණ මෙම පරීක්ෂණ සිදු කර තිබිණි.

ඉදිරියේදී පාර්ලිමේන්තුව රැස්වන දිනවල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කරන ජංගම රථයක් පාර්ලිමේන්තුවට ගෙන්වා පරීක්ෂණ කර ගන්නට අවශ්‍ය මැති ඇමැතින්ට ඒ සඳහා අවස්ථාව සැලසීමට කතානායකවරයා වේත්‍රධාරීවරයාට උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.

( දේශය )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here