කවුරු හරි ඉස්ලාම් අන්තවාදයට ව්‍යංග්‍යර්ථයෙන් හෝ උඩගෙඩි දෙනවනම් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – ජොන්ස්ටන් ප්‍රනාන්දු

0

දැන් හුගක් අය කියනවා පාස්කු සිදුවීම නිසා තමයි අපි දිනුවේ කියලා. ඒක වැරදියි මේ සමූපකාර ඡන්දය අපි දිනාගත්තෙ පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ දී. ඊළගට අපි අලුත් පක්ෂයක් හදලා ඒ පක්ෂයෙන් මේ පලාත් පාලන ආයතන ජයග්‍රහණය කරන වැඩපිළිවෙළ ආරම්භ කළා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබුණෙ නැත්නම් ඒ යහපාලන ආණ්ඩුව අවුරුදු 3න් ගෙදර යවන්න අපිට හැකියාවක් තිබුණා. 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුව විසුරුවන්න බැරිවෙන්න නීති මගින් හිර කරල තිබුණෙ. ඒක තමා එදා සිද්ධ වුණේ.

නමුත් දැන් පෙන්නන්න හදනවා මේ පාස්කු සිදුවීම නිසා තමයි අපි දිනුවෙ කියලා. මේක සම්පූර්ණ බොරුවක්. තමන්ගේ නොහැකියාව වහගන්න පාස්කු සිදුවීම ඉස්සරහට දාන්න හදනවා දැන් විපක්ෂය. තමන්ගෙ නොහැකියාව නිසා තමයි එදා යහපාලන ආණ්ඩුව ජාතික ආරක්ෂාවට නිසි තැන ලබා නොදුන්නේ. අන්තවාදීන්ගේ ඡන්ද ලබාගන්න, අන්තවාදීන්ගේ ඡන්දවලින් බලයේ ඉන්න හිතාගන හිටපු නිසා තමයි මේ පාස්කු සිදුවීම සිද්ධ වුණේ.

නැගෙනහිර පළාතට ගිහින් තමයි ඔවුන්ගේ සමුළු පැවැත්තුවේ. සිංහල බෞද්ධ ජනතාව ඉන්න කිසිම පළාතකවත් සමුළුවක් තිබ්බෙ නැහැ. වැඩි විශ්වාසයක් තබා තිබුණේ අන්තවාදීන්ගේ නායකත්වයට ඇහුම්කම් දෙන පළාත්වලට තමයි. අන්තවාදී නායකයෝ එක්ක තමයි පහුගිය ආණ්ඩුව කෙරුවේ. ඉස්ලාම් අන්තවාදීන්ට ත්‍රස්තවාදීන් නිර්මාණය කරන්න යම්කිසි ප්‍රකාශයක් ව්‍යංගයෙන් හරි කරනවා නම් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ අසාද් සාලි ද, ජොන්ස්ටන් ප්‍රනාන්දු ද එහෙම නැත්නම් වෙන කවුද කියන එක නෙවෙයි ප්‍රශ්නය.

සාමාන්‍යයෙන් එහෙම දෙයක් වුණා නම් කියන්නේ දේශපාලන පලිගැනීමක් කෙරුවා කියලයි. රිශාඩ් බදියුර්දීන් ව අත්අඩංගුවට ගත්දී සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වේ දේශපාලන පලිගැනීම් කරනවා කියලයි. හැබැයි දැන් රිශාඩ් බදියුර්දීන්ගේ නම සඳහන් වෙනවා පාස්කු කොමිෂන් වාර්තාවේ.

මහාමාර්ග අමාත්‍ය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පළ කළේ පසුගිය දා සීමාසහිත කුරුණෑගල විවිධ සේවා සමුපකාර සමිතියේ 50 වන ස්වර්ණ ජයන්තිය සමගාමීව අභිනවයෙන් ඉදිකරන ලද පොල්අත්තාපිටිය නව කෝප්සිටි වෙළඳසැල විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, ඇතුළු පිරිසක් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here