මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වීම අගෞරවයක්..ඇමතිකමක් නොලැබුණු එක මගෙ ජීවිතයේ ලොකුම සතුට.

0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මංත්‍රී විජයදාස රාජපක්ෂ සමඟ ලංකාදීප පුවත්පත කළ සාකච්ඡාවක උපුටාගැනීමක් පහත දැක්වේ.

ප්‍රශ්නය :- ඔබ බේරාගත්ත ගෝඨාභය රාජපක්ෂ අද රටේ ජනාධිපති. ඔබ නිකම් නිකම් මන්ත්‍රී. ඇයි ගෝඨාභය ඔබ ගැන නොසිතුවේ?  

ඒක ඇත්ත. ඒක වෙස්වළාගත් ආශිර්වාදයක්. ඇමැතිකමක් නොලැබීම ගැන මම අද ගොඩාක් සතුටට පත්වෙලා ඉන්නේ.

ප්‍රශ්නය :-ඔබත් ගේන්න ද‌ායක වුණු ආණ්ඩුවේ ඇමැතිවරයෙක් නොවීම ගැන ඔබ සතුටුයි?  

අනිවාර්යයෙන්ම ඔව්. ඇත්තටම ගත්තොත් මගේ දේශපාලන ජීවිතයේ ලොකුම සතුට, ලොකුම සංසිද්ධිය වශයෙන් මම සලකන්නේ ඒක.

ප්‍රශ්නය :- ඒ කියන්නේ මේ වගේ ආණ්ඩුවක ඇමැතිවරයකු වීම ඔබට අගෞරවයක්? 

ඇත්ත වශයෙන්ම ඔව්.

ප්‍රශ්නය :-ඇයි එහෙම? ආණ්ඩුවේ ගමන ඒ තරම්ම නරකයි?  

ඒතරම්ම නරකයි. ආණ්ඩුවේ ගමන අන්තිම අසුබවාදියි.

ප්‍රශ්නය :- ඔබට එහෙම හිතෙන්නේ?  

අපට ඡන්දය දුන් ජනතාවගෙන් සියයට 95 ක්ම අපට දැන් විරුද්ධයි. මට නොවෙයි ආණ්ඩුවට විරුද්ධයි.

ප්‍රශ්නය :- ඉතාම කෙටි කාලයකින් ඇයි ආණ්ඩුවට මෙහෙම වුණේ?  

ඒක ඉතින් ජනාධිපතිතුමාගෙන් තමයි අහන්න ඕන.

ප්‍රශ්නය :- මට එක කාරණයක් කියන්න?  

ඒකට ගොඩාක් කාරණා තියෙනවා. ඒවා ඔක්කොම විග්‍රහ කිරීමේ අවශ්‍යතාවක් මට නෑ. මූලික වශයෙන් ජනතාව බලාපොරොත්තු වුණා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී වගේ නොවෙයි ගෝඨාභය රාජපක්ෂ එන්නේ ලොකු වියත් මගක් එක්ක. උගතුන් බුද්ධිමතුන් පිරිවරාගෙන එන්නේ. හොඳ උගත් බුද්ධිමත් කැබිනට් එකක් ද‌ාලා රටේ ලොකු වෙනසක් කරලා ‘සිස්ටම් චේන්ජ්’ එකක් කරලා මේ රටේ දැවැන්ත ආර්ථික සංවර්ධනයක්, රාජ්‍ය ප්‍රතිපත්තියක්, දූෂණ විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි කියලා. නමුත් අපට ඡන්දය දුන්න ජනතාව ඉන්නේ බොහොම අතෘප්තියෙන්.

ප්‍රශ්නය :- ඔබ කියන්නේ හොරු කණ්ඩායමක් ආණ්ඩුව අතට අරගෙන කියලද?  

ඒක ඔබ කැමැති විදියට අර්ථනිරූපණය කරගන්න.

ප්‍රශ්නය :- ඒ කියන්නේ මම කියන එක හරි?  

ඒක ඔබේ කැමැත්තක්. මට කියන්න තියෙන්නේ ජනතාව ඉතාම බරපතළ විදියට අතෘප්තියට පත්වෙලා ඉන්නේ.

ප්‍රශ්නය :-ජනාධිපතිවරයා පක්ෂයේ නායකයා නොවීම මේ ප්‍රශ්නයට හේතුවක් නොවේද?

ඒක යම් බලපෑමක් වෙන්න පුළුවන්. හැබැයි ජනාධිපති කෙනෙකුට ජනාධිපති වුණාට පස්සේ පෞරුෂයක් තියෙනවා නම් ඕනෑම බාධකයක් යටපත් කරගෙන යන්න පුළුවන්. ඒකට දේශපාලන පෞරුෂයක් හා පරිණත බවක් තිබිය යුතුයි.

ප්‍රශ්නය :-ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට දේශපාලන පෞරුෂයක් හා පරිණත බවක් නෑ කියල ද ඔබ කියන්නේ?

මම උත්තර දුන්නේ ඔබ අහපු ප්‍රශ්නයටයි.

ප්‍රශ්නය :-ඔබ දැන් හිතනවද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්න ගත්ත තීරණයක් වැරැදියි කියලා.

ඒ ගැන මම දුක්වෙන්නේ නෑ. එවකට තිබුණ ලොකුම අවශ්‍යතාව අපේ රටේ ඉන්න ලෝකයේම ඉන්න ලොකුම වෙන්දේසිකාරයා වෙච්ච රනිල් වික්‍රමසිංහ පන්නා ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණේ අපට. ඒ ආණ්ඩුව තව අවුරුද්දක් තිබුණා නම් අපට රටක් නැතිවෙන බව අපි දැනගෙන හිටියනේ. ඉතින් ඒ නිසා ඒ වෙලාවේ ගතයුතු හොඳම තීන්දුව හැටියට තමයි මම ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මම සහයෝගය දුන්නේ.

ප්‍රශ්නය :-ඔබට ඇමැතිකමක් නොදුන්නේ ඇයි? පළමුවරට පාර්ලිමේන්තුවට ආපු අයටත් ඇමැතිකම් ලැබුණා?

මම ඒ ගැන හොයන්නේ නෑ. මට කැබිනට් ඇමැතිකමක් නොලැබුණාට මට ඊට වඩා දහගුණයක් වැඩ තියෙනවා කරන්න. මට කැබිනට් ඇමැතිකම නොලැබුණාට මේක ආත්ම වර්ණනාවක් කර ගැනීමක් කියලා ඕනෑනම් කෙනෙක් හිතුවට කමකුත් නෑ. මට කැබිනට් ඇමැතිකමක් නොලැබීමෙන් මට පාඩුවක් නෑ. රටටනේ පාඩුව තියෙන්නේ. රටට වග කියන නායකයෝ තමයි ඒකට වගකියන්න ඕනෑ. මම නොවෙයි.

ප්‍රශ්නය :-‘මම දෙවැනි පාර එන්නේ නෑ’ කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිව්වා කියලා ප්‍රචාරයක් යනවා?

ඒක ගැන මට අදහසක් ප්‍රකාශ කරන්න බෑ. ඒක එතුමගේ කැමැත්තනේ.

ප්‍රශ්නය :- ඔබ ආණ්ඩුවේ සාමාජිකයෙක්. ඔබ ඉන්න තැනකදී ජනාධිපතිවරයා එහෙම කිව්වද?

මම හිටපු තැනකදීනම් කියලා නෑ. මට එහෙම හමුවෙන්නෙත් නෑ. මේ ආණ්ඩුවේ මට කිසිම වගකීමක් නෑ. අඩුතරමින් පාර්ලිමේන්තුවේ කාරක සභාවකටවත් මම නෑ. මට තියෙන්නේ පාර්ලිමේන්තුවේදී කතාවක් කර සහභාගි වීම පමණයි. ඒ නිසා ආණ්ඩුව මොනවද කරන්නේ කියලා මම දන්නේ නෑ.

ප්‍රශ්නය :- ඊළඟ ජනාධිපතිවරණයට සුළු ජාතික ඡන්ද දිනාගන්න පුළුවන් නායකයෙක් හොයාගන්නා කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කළාලු. ඒ නායකයා බැසිල් රාජපක්ෂ කියලා සමහරු කියනවා. ඔබට ඒ ගැන අවබෝධයක් ඇති?

ඔව් මට අවබෝධයක් තියෙනවා. නමුත් මම කැමැති නෑ ඒ ගැන කතා කරන්න. මේක ඒකට සුදුසු වෙලාව නෙවෙයි කියලත් හිතනවා.

ප්‍රශ්නය :- ඒ සුදුසු වෙලාව කවද‌ා එයිද?

තාම කියන්න බෑ. ආපු වෙලාවට මම කියන්නම්.

ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here