පොහොට්ටු පාර්ලිමේන්තු මංත්‍රී තිලක් රාජපක්ෂගේ මන්ත්‍රී ධූරය බලරහිත කරන ලෙස ඉල්ලා පෙත්සමක්

0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලාගොනු කළ පෙත්සමක් මැයි මස 17 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කෙරුණි.

ඒ අනුව, පෙත්සම මැයි මස 17 වනදා කැඳවීමට නියෝග කළ අධිකරණය එහි වගඋත්තරකරුවන්ට එදින කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත්කරන ලෙසද පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේය.

අම්පාර, පුංචි සීගිරිය රජමහා විහාරයේ විහාරාධිපති බඹරවානේ සද්ධාතිස්ස හිමියන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු තිලක් රාජපක්ෂ මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හා ඡන්දය ප්‍රකාශකිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා සිටී.

වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන තිලක් රාජපක්ෂ මහතා අම්පාර, සෞඛ්‍ය ‍වෛද්‍ය කාර්යාලයට අනුයුක්තව සේවය කළ විධායක ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරියෙකු බවත් ඔහු නාමයෝජනා භාරදෙන අවස්ථාවේදීත් එම තනතුරෙන් ඉවත් නොවී කටයුතුකර ඇති බවත් පෙත්සමේ සඳහන් වේ.

නාමයෝජනා භාරදෙන අවස්ථාවේ දී තමන් අදාළ තනතුරින් ඉවත්වූ බවට තිලක් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් කර ඇති ප්‍රකාශය හා ලේඛන අසත්‍ය බව පෙන්වා දෙන පෙත්සම්කාර හිමියන් ඒ අනුව ඔහු පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බව සඳහන් කරයි.

ඒ අනුව මෙම පෙත්සම විභාග කිරීම සඳහා වගඋත්තරකරුවන් වෙත නොතිසි නිකුත්කරන ලෙසත් මෙම නඩුවට පාදක වන ලේඛන අධිකරණයට ගෙන්වා විමර්ශනයක් සිදුකරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here