‘සල්ලි’ ගිලින ක‍්‍රිකට් බහිරවයෝ.

0

ජව සම්පන්නව නැගී සිටි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව දැන් පරාජය නැමැති නෞකාවේ ගොස් ගිලෙන්නට ආසන්නව තිබේ. ක‍්‍රීඩා ඇමැතිවරයාද ක‍්‍රීඩකයෙකි. එවැනි වටපිටාවක රටේ ජනප‍්‍රියම ක‍්‍රීඩාව නීරස වෙද්දී ඒ වෙනුවට ඔක්සිජන් දිය යුත්තේ ඇතැම් විට කසපහරක්ද සමගිනි. ඒ තරමටම ක‍්‍රිකට් යනු ‘ජොලි සීයලාගේ’ ක‍්‍රීඩාවක් බවට දැන් පත්ව තිබේ.

ක‍්‍රිකට් පරදින විට බැනුම් අසන්නේ පරිපාලකයාය. නැතිනම් පුහුණුකරුය. එසේ නැතිනම් තේරීම් කමිටුවය. නමුත් පිට්ටනියට ගොස් ක‍්‍රිකට් ගසන්නේ ක‍්‍රීඩකයෝය. පරිපාලකයාගේ වගකීම ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අවශ්‍ය සාධනීය ක‍්‍රමවේදයන් ඔස්සේ එය මුවහත් කිරීමට හැකි වපසරිය නිර්මාණය කිරීමයි. කාලයෙන් කාලයට පරිපාලකයන් ක‍්‍රීඩකයන් වෙන්නටත් කී‍්‍රඩකයන් පරිපාලකයන් වෙන්නටත් ගොස් ක‍්‍රිකට් හොම්බෙන් ඇන ගත් අවස්ථා බොහොමයක් ඉතිහාසයේ සටහන්ව තිබේ.

බොහෝ ක‍්‍රීඩා ඇමැතිවරුද ලකුණු දමා ගන්නේ ක‍්‍රිකට් ගැන කතා කරන්නට ගොස්ය. ඒ වගේම ඔවුන් ඇන ගන්නේද ක‍්‍රිකට් ගැන ඇගිලි ගැසීමට ගොස්ය. 1982 දී ශ‍්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබන්නේ එවකට හිටපු ක‍්‍රීඩා ඇමැති ගාමිණී දිසානායක මහතාට පින් සිදුවන්නටය. ඔහු ක‍්‍රිකට් ක‍්‍රීඩාව ලෙන්ගතුව හදා ගත්තේ එයින් ශ‍්‍රී ලාංකේය නාමය අනාගතයට ඔසවා තැබීමට හැකි අනාගතයක් දැකපු නිසාය. 1996 ලෝක කුසලාන ජයග‍්‍රහණය කරන විට ක‍්‍රිකට් ලොකු පුටුවේ හිමිකරුවා වූයේ ආනා පුංචි හේවාය. ඔහුව ඒ පුටුවට ගෙන එන්නටද ගාමිණී දිසානායක මහතා පියවරෙන් පියවර ක‍්‍රමවේදයන් සකස් කළේය. ඒ මෙරට ක‍්‍රිකට් පිබිදීමේ එක් මුල් කතාවකි. යළිත් මෙරට ක‍්‍රිකට් වලට පණ දෙන්නට එවැනි මුල් රචනයක් අලූතෙන් අවශ්‍යව ඇතැයි අපි බළධාරීන්ට මතක් කර සිටිමු. ක‍්‍රීඩා ඇමැතිවරයා ඒ වෙනුවෙන් කටයුතු නොකළහොත් ඔහුද ‘ෆේල්’ ක‍්‍රීඩා ලෝලින් කියනු ඇත.

ක‍්‍රිකට් අභාවයන් ගැන කතා කරන විට තවමත් එහි මුල් කතාව අවසන්ව නැත. 1983 තහනම් දකුණු අප‍්‍රිකානු සංචාරය ගිය ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ මෙරට ක‍්‍රිකට් පාවා දෙන්නන් බවට ලේබල් ගත විය. ඇත්තටම එදා ඔවුන්ට ජීවත් වන්නට තරම් මුදලක් මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් නොලැබු බැවින් ඔවුන් ක‍්‍රිකට් ගසන්නට ගියේය. දැන් ක‍්‍රියාත්මක ප‍්‍රිමියර් ලීග් වැනි තරගාවලි එදා නොතිබූ බැවින් ඔවුන් දකුණු අප‍්‍රිකාව වෙනුවෙන් කඬේ ගියේ මුදලටය. ‘‘අපිට එදා ටෙස්ට් තරගයකදී දවසට ලැබුණේ රුපියල් පන්සියයි. ඒකෙන් ජීවත් වෙන්න බැහැ. ඒ නිසා අපි දකුණු අප‍්‍රිකානු සංචාරයට ගියා. ඒ තරගාවලියේදී ලැබුණු මුදල් වලින් අපි ඉඩමක් අරන් ගෙයක් හදා ගත්තා.’’ යැයි එම සංචාරයට සහභාගි වු බන්දුල වර්ණපුර ‘අපි නොදන්න ක‍්‍රිකට්’ ලිපි මාලාවට වරක් පැවසුවේය.

එදා ශ‍්‍රී ලංකාවට බන්දුල වර්ණපුර ඇතුළු දක්ෂ ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකුම අහිමි විය. වසර දහයක තරග තහනම් ඔවුන්ට හිමිවිය. නමුත් මෙරට ක‍්‍රිකට් ඒ දඩුවම ඔස්සේ අළුගසා නැගිටිමින් ඊට වසර 13 කට පසු එක්දින ක‍්‍රිකට් ලෝක ශූරයෝ වූහ. එතැන් පටන් ගත වු වසර 25 දීම ශ‍්‍රී ලංකාවට එවැනි හපන්කමක් කිරීමට නොහැකි විය. නමුත් අවසන් මහා තරග දෙකක් නියෝජනය කිරීම සහ 2014 විස්සයි විස්ස ලෝක කුසලාන දිනා ගැනීමට තරම් අපේ ක‍්‍රීඩකයන් දක්ෂ විය. 2015 න් පසුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරාජයෙන් හෙම්බත් වීම වර්තමානයේ මාර්තෘකාවට බඳුන් වන විට රට්ටු හිනා වෙති. පරිපාලකයෝ බැනුම් අසති. ක‍්‍රීඩකයෝ පඹයන්ගේ ජවනිකාව රඟ දක්වති.

ඕනෑම කුපාඩි වැඩක් කිරීමට ‘සල්ලි’ නැමැති ආයුධ පාවිච්චි කිරීමට ඇතැම් ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ පෙළඹී සිටිති. වසරකට රුපියල් කෝටියකට වැඩි මුදලක් ක‍්‍රිකට් කොන්ත‍්‍රාත්තුවේ පළමු 30 දෙනාට පහසුවෙන්ම උපයාගත හැකිය. ඇතැම්විට ඔවුන්ට ක‍්‍රිකට් ගැහුව්වත් සල්ලිය. නොගැහුව්වත් සල්ලිය. ටෙස්ට් තරගයකට ගෙවන මුදල මිලියනයකට ආසන්නය. එක්දින තරගයට එයින් භාගයකි. කොන්ත‍්‍රාත්, තරග ගාස්තු, කුලියට ක‍්‍රිකට් ගසා මුදල් හොයන ක‍්‍රීඩකයන් හරියට නොකරන්නේ ක‍්‍රිකට් ගැසීම පමණි. දැන් ඔවුන් රති ක‍්‍රීඩාවේ යෙදෙන්නටද කි‍්‍රකට් සංචාර උපයෝගී කර ඇති බව කණ්ඩායම් ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.

කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ගේ එකමුතුව ඇත්තේ ක‍්‍රීඩා පිටියේ පමණි. කණ්ඩායමේ ගැන්සි ‘සෙට්’ කිහිපයක් සිටිති. විදෙස් සංචාරවලදී එක ගැන්සියක් උපරිම ෆන් ගනිති. තවත් ගැන්සියක් ක‍්‍රිකට් වෙනුවෙන් වෙහෙසෙති. ඒ දෙකට නැති ගැන්සියක් වෙනත් මාර්ග ඔස්සේ යති. නමුත් කණ්ඩායමක් එකම ගැන්සියක් නොවුණහොත් පරදින්නේ රට බව ඔවුන් නොතේරෙන්නෙ අං තට්ටුවක් ඔළුගෙඩිවලට දමාගෙන සිටින බැවිනි. දැන් ක‍්‍රිකට් ගසන්නේ පච්ච සිරාල කොටසකි. නැතින් ආගම් කල්ලියකි. එසේ නැතිනම් ජොලී සියාල වැනි බයිලා ගැන්සියකි. ඉතිහාසයේද මෙවැනි සෙට් සිටියේය. නමුත් ඔවුන් එක ගැන්සියක් වී රට දිනවුවේය.

නිරෝෂන් දික්වැල්ල ටෙස්ට් කණ්ඩායමේ කඩුලූ රකින්නාය. ඔහු ටෙස්ට් තරග 41 ක් ක‍්‍රීඩා කළද තවමත් ශතකයක් නොමැත. සාමාන්‍ය 30.90 කි. ඔහු ලකුණුවලට වඩා උඩ බලන් ‘කුරුස’ ගසන බවට ක‍්‍රිකට් ලොලීන් පවසති. විවිධ මානසික රෝගීන් කණ්ඩායමේ සිටින බවට ඇතැමුන් පවසයි. කෙසේ වෙතත් මේ නන්නත්තාර ගැන්සිය සමග කළමණාකරණ තනතුරද පහසු නැති බැවින් පෞද්ගලික හේතුවක් හුවා දක්වමින් අසන්ත ද මැල් ගෙදර ගියේය. පසුව ඔහු තේරීම් කමිටු සභාපති ධුරයද අතහැරියේය.

‘‘අපේ කට්ටිය ඇගට අරන් ගහන්නේ නැහැ. එකක් ගැහුව්වම අනිත් එක කරන්නෙ නැහැ. මේක තේරුම් ගන්න ඕන.’’ යැයි කණ්ඩායමේ තුන් ඉරියව් ක‍්‍රීඩකයකු ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය. ක‍්‍රීඩකයන්ගේ හොඳ නරක එළියට දෙන්නේද ක‍්‍රීඩකයන් විසිනි. ඒ ගැන්සි වැඩි නිසාය. වාර්තා වන අන්දමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් මාසයකට මිලියන 400 කට වැඩි මුදලක් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ, සේවකයන්ගේ සහ අනිකුත් වියදම් වෙනුවෙන් වෙන් කර පඩි නඩි ගෙවයි. එතරම් මුදලක් ගෙවා ගොන් නාම්බන්ව නඩත්තු කරන්නේ නම් ක‍්‍රිකට් පරිපාලකයන්ද අං තට්ටුවක් දමාගෙන පරිපාලනය කරන්නෝ විය යුතුය. ක‍්‍රීඩා ඇමැතිවරයාද එසේ විය යුතුය. කෙසේ වෙතත් මේ සල්ලි ගිලින ක‍්‍රිකට් බහිරවයන්ව එලවා දැමීම විගසින් කළ යුතුය. නැතිනම් ක‍්‍රිකට් ක‍්‍රීඩාව ගොඩ ගැනීම අපහසුය. වෙනත් රටවල් ජයග‍්‍රහණයේ ඔටුන්න වෙනුවෙන් වෙහෙසෙද්දී අපේ රැල අංතට්ටුව ඔළුවේ දමාගෙන නන්නත්තාරයේ යන්නේ නම් කිව හැක්කේ අහෝ ක‍්‍රිකට්….යනුවෙන් මිස අන් කිමක්ද.

දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here